අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහනවල සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් පවතින නීතිය එළඹෙන ජූනි 20 වන දින සිට දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ජාතික මාර්ග ආරක්ෂණ සභාව (NCRS) නිවේදනය කරයි.
මීට පෙර ජනතාවට එම නීතියට අනුගත වීම සඳහා ලබා දී තිබූ සහන කාලය ජූනි 19 වන දිනෙන් අවසන් වේ. ඒ අනුව, ජූනි 20 වන දින සිට කිසිදු ව්‍යතිරේකයකින් තොරව මෙම නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව එම සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා අවධාරණය කළේය.
මෙම නියාමනයට අනුව, අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනයක ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය වේ. මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් රජය විසින් මෙම පියවර ගෙන ඇත.
















