බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්, අධිකරණ නියෝගයකට අනුව අද (16) කොළඹ රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව, නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් උන්වහන්සේව රස පරීක්ෂක කාර්යාලය වෙත රැගෙන ගොස් DNA පරීක්ෂණය සඳහා අවශ්‍ය රුධිර සාම්පල ලබා ගැනීමට කටයුතු කර ඇත.
මෙම පරීක්ෂණය සිදු කිරීමට තීරණය වූයේ, මීට පෙර සිදු කළ විමර්ශනවලදී දැරිය සඟවා තිබූ රුධිරය තැවරුණු බවට සැක කෙරෙන ඇඳුම්වල අන්තර්ගතව තිබූ DNA සාම්පල සහ සැකකාර හිමිනමගේ DNA සාම්පල සැසඳීම අත්‍යවශ්‍ය බව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව මගින් තහවුරු වීම හේතුවෙනි.
අධිකරණය විසින් මෙම DNA පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රස පරීක්ෂකවරයාට දැනුම් දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර අධිකරණය හමුවේ නඩුව විභාග වන අතර, සැකකාර හිමියන් මීට පෙර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටියහ.
















