ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, ජුනි 18 වන දින දිවයිනේ සියලුම පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් යොමු කර ඇති අතර, පාසල් පරිශ්‍රයන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් තොර කලාප බවට පත් කිරීම එහි ප්‍රධාන අරමුණයි.
මෙම වැඩසටහන යටතේ පාසල් සහ අධ්‍යාපන ආයතන මට්ටමින් පාසල් භූමියේ ජලය රැඳිය හැකි බැහැර කළ භාණ්ඩ, හිස් ටින්, බෝතල් සහ ටයර් වැනි දෑ ඉවත් කිරීම, පාසල් ගොඩනැගිලිවල වහලවල්, ගටර් සහ ජල බැහැර කිරීමේ පද්ධතිවල ජලය රැඳී ඇත්දැයි නිරීක්ෂණය කිරීම වැනි පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය. එමෙන්ම පාසල් සංවර්ධන සමිති සහ දෙමාපියන්ගේ සහයෝගය ඇතිව පාසල් පරිශ්‍රය සහ අවට ප්‍රදේශය දිනපතා පිරිසිදුව තබා ගැනීමටත්, සිසුන් සහ කාර්ය මණ්ඩලය ඩෙංගු රෝගය වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමටත් පියවර ගැනේ.
අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම වැඩසටහන ඉතා තීරණාත්මක බැවින්, අදාළ සියලුම බලධාරීන් සහ පාසල් ප්‍රධානීන් උපරිම කැපවීමකින් කටයුතු කළ යුතු බවයි.
















