දඹුල්ලේදී පැවැති ශ්‍රී ලංකා A සහ ඉන්දීය A තරගයේදී ඇති වූ උණුසුම් සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ. එම වාර්තා මගින් ශ්‍රී ලංකා ක්‍රීඩක විශේන් හැළඹගේව ප්‍රධාන වැරදිකරු කරමින්, 15 හැවිරිදි වෛභව් සූර්යවංශිගේ හැසිරීම සාධාරණීකරණය කිරීමට උත්සාහ දරා ඇති බව පෙනේ.
ඉන්දීය මාධ්‍ය විසින් ඉදිරිපත් කරන කරුණු අනුව, මෙම සිදුවීම ආරම්භ වූයේ විශේන් හැළඹගේ විසින් වෛභව් සූර්යවංශි වෙත “Match over… now you go home” ලෙස පවසමින් පළමුව අභියෝග කිරීමෙනි. එම ප්‍රකාශය නිසා 15 හැවිරිදි වෛභව් කෝපයට පත් වූ බවත්, එය හුදෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයාගේ ප්‍රකෝප කිරීමක් නිසා සිදුවූ දෙයක් බවත් ඉන්දීය මාධ්‍ය මගින් ඉස්මතු කිරීමට උත්සාහ දරයි.
මෙම පුවත් වාර්තා මගින් වෛභව් සූර්යවංශිගේ ශාරීරික හැසිරීම සහ ආක්‍රමණශීලී බව වක්‍රව සාධාරණීකරණය කරන අතර, සම්පූර්ණ වරදම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙත පැටවීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ. නමුත් ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක කුමන තත්ත්වයක් යටතේ වුවද, ඕනෑම ක්‍රීඩකයෙක් තමන්ගේ හැඟීම් පාලනය කරගත යුතු බවයි. ප්‍රකෝප කිරීමක් සිදු වූ පමණින් විරුද්ධ ක්‍රීඩකයෙකු වෙත කඩා පැනීම හෝ තල්ලු කිරීම කිසිදු විනය නීතියක් යටතේ අනුමත කළ නොහැකි බව ඔවුන් අවධාරණය කරයි. එපමණක් නොව, අපැහැදිලි ආලෝක තත්ත්වයන් යටතේ සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කිරීමට ඉන්දීය නායක තිලක් වර්මා දැඩි ලෙස බලපෑම් කළ බවට තොරතුරු වාර්තා වී තිබියදී, එම කරුණු යටපත් කරමින් වරද විශේන්ගේ පමණක් බව පෙන්වීමට ඉන්දීය මාධ්‍ය උත්සාහ දරයි.
ඉන්දීය මාධ්‍ය විසින් මෙම සිදුවීම ඔවුන්ගේ යොවුන් ක්‍රීඩකයා ආරක්ෂා වන පරිදි හැසිරවීම, ක්‍රිකට් පිටියේ පවතින උණුසුම් වාතාවරණය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී තිබේ. කෙසේ වෙතත්, ක්‍රිකට් යනු ජාතිකත්වයට වඩා විනය මත පදනම් වූ ක්‍රීඩාවක් බැවින්, දෙපාර්ශවයේම ක්‍රීඩකයින්ගේ අශෝභන හැසිරීම් විවේචනයට ලක් විය යුතු බව බහුතර ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ මතයයි.
















