පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීම සඳහා, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් සතු සියලු තොරතුරු වගකීමෙන් හෙළි කළ යුතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
හිටපු බුද්ධි සහ හමුදා නිලධාරියෙකු ලෙස තමන් දන්නා කරුණු සඟවා තබා ගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත්, ඒ වෙනුවට විමර්ශනවලට පූර්ණ සහයෝගය ලබා දීම සුදුසු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාරු කිරීම සඳහා උත්සාහ නොකර, තමන් සතු තොරතුරු ඇතුළත් ලැප්ටොප් හෝ දුරකථන වැනි උපකරණවල ඇති දත්ත විමර්ශන අංශ වෙත ලබා දෙන ලෙස ඔහු සුරේෂ් සලේ මහතාගෙන් ඉල්ලා සිටියේය.
සුරේෂ් සලේ මහතා රඳවා තබා ඇති ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ සිරකුටියක් හෝ අමතර පහසුකම් සලසා නොමැති බවයි. පෙර පැවැති ආණ්ඩු යටතේ රැඳවුම් නියෝග මත පුද්ගලයන් රඳවා තැබූ සාමාන්‍ය ක්රමවේදයම ඔහු වෙනුවෙන් ද ක්‍රියාත්මක වන බවත්, කෙසේ වෙතත් රජය විසින් ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ මානුෂීය පහසුකම් ප්‍රමාදයකින් තොරව ලබා දී ඇති බවත් ඔහු පැවසීය.
මීට අමතරව, රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා අවස්ථාවලදී ඥාතීන්ට ඔහුව බැලීමට අවසර ලබා දී ඇති බවත්, ආහාරපාන ලබා ගැනීමේදී ද ඥාතීන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















