ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 36 දක්වා වැඩි කරන ලෙසත්, ඔත්තේ/ඉරට්ටේ ක්‍රමය අහෝසි කරන ලෙසත් බල කරමින් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් රජයට සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
මෙම ඉල්ලීම් ඇතුළත් හදිසි සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ මෙම සහනය අත්‍යවශ්‍ය බවයි. එම ඉල්ලීම්වලට අමතරව ත්‍රීරෝද රථ ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා නියාමනය කර පොදු මිලක් හඳුන්වා දෙන ලෙසත්, ඇප් මගින් කුලී රථ සේවා සපයන සමාගම් හරහා රියදුරන්ට සිදුවන අසාධාරණයන් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. තම ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවනු ඇති බව ද එම සංගම් නියෝජිතයින් වැඩිදුරටත් අවධාරණය කරයි.
















