චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ දීර්ඝකාලීන මිත්‍රත්වය විදහා දැක්වීම වෙනුවෙන් සංවිධානය කරන ලද “Heart to Heart, Side by Side” ඡායාරූප ප්‍රදර්ශනය චීන ආධාර (China Aid) යටතේ ඉදිකළ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිලි පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කර තිබේ.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) යන මහත්වරුන් එක්ව සිටියහ.
දෙරට අතර පවතින අනෝන්‍ය සහයෝගීතාවය නිරූපණය වන පරිදි ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ඡායාරූප 350කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර ඇත. විශේෂයෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවැති ද්විපාර්ශ්වික හුවමාරු, ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනය ලබාදුන් විවිධ ආධාර, මෙරට තුළ ක්‍රියාත්මක කළ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති, බහු-ක්ෂේත්‍ර සහයෝගිතාව සහ චීනය ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ ආදී තේමාවන් රැසක් මුල් කරගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
















