රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි කාලය තුළ ඔහුට වධ හිංසා සිදු වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම විමර්ශනයට අදාළ සාක්ෂි විභාගය සඳහා සුරේෂ් සලේ මහතාගේ බිරිඳ, ඔහුගේ නීතීඥ මඩුල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) උසස් නිලධාරීන් පිරිසක් කොමිසම වෙත කැඳවා තිබුණි.
එහිදී සාක්ෂි විභාගය අතරතුර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල ප්‍රකාශ කළේ, පසුගිය මාර්තු 08 වැනිදා අනෙකුත් සියලුම රැඳවියන් බලා සිටියදී සුරේෂ් සලේ මහතාව නිරුවත් කර විශේෂ ශරීර පරීක්ෂාවකට ලක් කළ බව CID නිලධාරීන් එහිදී නිල වශයෙන් පිළිගත් බවයි. මෙම ක්‍රියාව රැඳවියෙකුගේ මානව හිමිකම් සහ පෞද්ගලිකත්වය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව නීතීඥවරු පෙන්වා දෙති.
මේ අනුව, මෙවැනි සෝදිසි කිරීම් සිදු කිරීමේදී අනුගමනය කරන සම්මත ක්‍රියා පටිපාටිය (SOP), 2026 වසර තුළ CIDය විසින් සිදු කරන ලද සෝදිසි කිරීම්වලට අදාළ නිල වාර්තා, මාර්තු 08 වැනිදාට අදාළ CCTV දර්ශන මෙන්ම එදින සෝදිසි කිරීම් සිදුකළ නිලධාරීන්ගේ නාමලේඛනය සහ රැඳවුම් නියෝගයට අදාළ සියලුම ලේඛන ලබන ජුනි 26 වැනිදාට පෙර කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැඩි ලෙස නියෝග කර ඇත.
















