ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි අනුව මෙරට බදු පදනම පුළුල් කිරීම සඳහා “බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය” (TIN) රට පුරා ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම රජය විසින් වේගවත් කර තිබේ. මේ යටතේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඇසුරින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් ඕනෑම පුරවැසියෙකුගේ බැංකු ගිණුම්, වාහන සහ දේපළ තොරතුරු පරීක්ෂා කිරීමේ තාක්ෂණික බලය ලබාගෙන ඇත.
මෙම දැඩි මූල්‍ය නිරීක්ෂණ ජාලය හේතුවෙන් සිය තැන්පතු පොලී ආදායම්වලින් බදු කැපේ යැයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තුළ දැඩි බියක් හටගෙන තිබුණි. ඒ වෙනුවෙන් නව ලිහිල් ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, වයස්ගත පුරවැසියන්ට බදු කාර්යාලවල රස්තියාදු නොවී තමන් ගනුදෙනු කරන වාණිජ බැංකුව වෙත හැඳුනුම්පත ලබා දීමෙන් බැංකුව හරහාම සිය TIN අංකය සහ බදු නිදහස් කිරීමේ ප්‍රකාශ ලබාගත හැකි බවයි.
කෙසේ වෙතත්, මෙමඟින් සාමාන්‍ය ජනතාවගේ මූල්‍ය රහස්‍යභාවය අහිමි වන බව පවසන විවේචකයන් පෙන්වා දෙන්නේ, ජනතාව මිරිකීමට පෙර බදු වංචා කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් කොටු කරගත යුතු බවයි.
















