2026 ෆීෆා (FIFA) පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘I’ කාණ්ඩය (Group I) යටතේ අද (17 වැනිදා) පැවති මූලික වටයේ තීරණාත්මක තරගයකින් සෙනගාලය ගෝල 3-1ක් ලෙස පරාජය කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කිරීමට ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම සමත් වී තිබේ. මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි වටයට (Knockout Stage) සුදුසුකම් ලැබීමේ සටනේ පෙරමුණක් ගැනීමටද ප්‍රංශයට අවස්ථාව හිමි විය.
තරගය ආරම්භයේ සිටම ප්‍රංශ ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ අතර, ඔවුන් වෙනුවෙන් සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක කිලියන් එම්බාපේ (Kylian Mbappé) සුවිශේෂී ගෝල 2ක් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. මීට අමතරව බ්‍රැඩ්ලි බාර්කෝලා (Bradley Barcola) ප්‍රංශය වෙනුවෙන් තවත් ගෝලයක් රැස් කරමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් විය. සෙනගාල කණ්ඩායම ද තරගය පුරා ප්‍රංශ ආරක්ෂක පෙළට දැඩි පීඩනයක් එල්ල කිරීමට උත්සාහ කළ අතර, ඔවුන් වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ඊබ්‍රාහිම් එම්බායේ (Ibrahim Mbaye) විසින් ලබා ගන්නා ලදී.
මේ අතර, පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මීළඟ තරගය ලෙසින් ඉරාකය සහ නෝර්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තවත් උණුසුම් තරගයක් අද (17 වැනිදා) මෙරට වේලාවෙන් පෙරවරු 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
















