අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ජනතාවට වඩාත් සමීප කරමින් සහ විධිමත් කරමින්, දිවයින පුරා නව ප්‍රාදේශීය කාර්යාල 23ක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙම සියලු කාර්යාල එළැඹෙන දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.
මෙම ව්‍යාපෘතියේ වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.
මීට පෙර අල්ලස් හෝ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සහ සාක්ෂි ලබා දීමට දුර බැහැර ප්‍රදේශවල ජනතාවට කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයටම පැමිණීමට සිදුව තිබුණි. මෙම අපහසුතාව මඟහරවා ගැනීම සඳහා මෙම ප්‍රාදේශීය කාර්යාල ජාලය පිහිටුවනු ලැබේ.
මෙම නව කාර්යාල හරහා පැමිණිලි භාර ගැනීම, විමර්ශන කටයුතු සිදු කිරීම සහ නඩු පැවරීම ඇතුළු අල්ලස් කොමිසමට අයත් කාර්යයන් රැසක් ප්‍රාදේශීය මට්ටමින්ම ඉටු කර ගැනීමේ හැකියාව උදාවේ.
මෙම කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා නීති නිලධාරීන් සහ නිවාරණ නිලධාරීන් ඇතුළු නිලධාරීන් 971 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සේවය සඳහා අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙම පුළුල් කිරීම හරහා දූෂණයට එරෙහිව ජනතාවට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව නීතිමය මැදිහත්වීම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.
















