නැමීබියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් පත්කළ එයාර් චීෆ් මාර්ෂල් උදේනි රාජපක්ෂ (විශ්‍රාමික), එරට ජනාධිපතිනි ආචාර්ය නෙටුම්බෝ නැන්දි න්දයිත්වා (Dr. Netumbo Nandi-Ndaitwah) වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ. නැමීබියාවේ වින්ඩොක් (Windhoek) නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී මෙම රාජ්‍යතාන්ත්‍රික උත්සවය උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇත. එහිදී මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ සුභාශිංසන සහ සුබපැතුම් නැමීබියානු ජනාධිපතිනිය වෙත පිරිනමන ලදී.
1999 වසරේ දෙරට අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව මෙහිදී අවධාරණය කෙරිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, 77 කණ්ඩායම සහ නොබැඳි පිළිවෙත වැනි ජාත්‍යන්තර වේදිකාවන්හි පොදු වටිනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ සමීප සබඳතාවක් දෙරට අතර පවතින බව උදේනි රාජපක්ෂ සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපතිනිය දැනුවත් කළ ඔහු, වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කරගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා උණුසුම් ලෙස පිළිගත් නැමීබියානු ජනාධිපතිනිය, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සිය රජයේ ඇති කැපවීම යළි තහවුරු කළාය. පොදු අභියෝග ජය ගැනීම සහ තිරසර සංවර්ධනය උදෙසා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතාවේ (South-South cooperation) වැදගත්කම පිළිබඳව ද මෙහිදී රාජ්‍ය නායක මට්ටමින් සාකච්ඡා වී තිබේ.
නැමීබියාවේ නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පත්වූ එයාර් චීෆ් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් වසර 37ක කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ සාමාජිකයකු මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ද සහකාර සාමාජිකයකු ලෙස වෘත්තීය සුදුසුකම් සපුරා ඇත.
















