සත්ත්ව සුබසාධන සංවිධානයක මැදිහත්වීමෙන් වියට්නාමයේ මස් පිණිස ඝාතනය කිරීමට නියමිතව සිටි සුරතල් බළලුන් 400කට වැඩි ප්‍රමාණයක් මුදාගැනීමට එරට පොලීසිය සමත්ව තිබේ. වියට්නාමයේ අපරාධ කල්ලියක් විසින් මෙහෙයවූ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ටේ නිහ් ප්‍රාන්තයේ සහ හෝ චිං මිං නගරයේ ස්ථාන කිහිපයක සිදුකළ වැටලීම්වලින් මෙම බළලුන් පිරිස මුදාගෙන ඇති අතර, ඉන් 40 දෙනෙකු මේ වන විටත් ඔවුන්ගේ සැබෑ අයිතිකරුවන් වෙත නැවත භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වියට්නාමය තුළ බළල් සහ සුනඛ මාංශ පරිභෝජනය නීත්‍යානුකූල වුවද, ඒ සඳහා සතුන් ලබාගත් ස්ථාන සනාථ කරන නීත්‍යානුකූල බලපත්‍ර තිබීම අනිවාර්ය වේ. කෙසේ වෙතත්, නිවෙස්වල වෙසෙන සුරතල් සතුන් සොරකම් කරමින් සිදුකරන මෙම නීතිවිරෝධී ජාවාරමට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස සත්ත්ව සුබසාධන සංවිධාන එරට රජයට දිගින් දිගටම බලපෑම් කරමින් සිටියි.
















