ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, නවතම ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.
මෑත කාලීනව ජාත්‍යන්තර පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ඔහු මේ වන විට ලකුණු 1,333ක් ලබා ගෙන ඇත. ඔහුගේ මෙම දක්ෂතා අතර චෙක් ජනරජයේ පැවැති ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’ තරගාවලිය සහ රෝමයේ පැවැති කීර්තිමත් ‘ඩයමන්ඩ් ලීග්’ තරගාවලිය ජයග්‍රහණය කිරීම කැපී පෙනේ. රෝමයේදී පැවැති තරගයේදී ඇන්ඩර්සන් පීටර්ස් සහ කේශෝන් වෝල්කොට් වැනි ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන් පරාජය කිරීමට රුමේෂ් තරංග සමත් විය.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල වත්මන් තත්ත්වය පහත පරිදි වේ:
ජර්මනියේ ජූලියන් වෙබර් ලකුණු 1,360ක් ලබා ගනිමින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටියි.
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පැමිණීමත් සමඟ ඔලිම්පික් ශූරයන් ඇතුළු ලෝක ප්‍රකට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඔහුට පසුපසින් සිටී.
ඉන්දියාවේ නිරාජ් චොප්රා පස්වන ස්ථානයේත්, පකිස්ථානයේ අර්ෂද් නදීම් දසවන ස්ථානයේත් පසු වෙති.
ශ්‍රී ලාංකීය ක්ෂේත්‍ර මලල ක්‍රීඩකයෙකු විසින් මෙතෙක් අත්කරගත් ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලෙස මෙය සැලකෙන අතර, ඉදිරියේදී පැවැත්වෙන ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලිවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා ගැනීමේ ප්‍රබල අපේක්ෂාවක් රුමේෂ් තරංග කෙරෙහි පවතී.
















