ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සඳහා සැප්තැම්බර් 2 වනදා දක්වා අවශ්‍ය ගල් අඟුරු සැපයුම වෙනුවෙන් නෞකා 25ක් සැලසුම් කර තිබුණද, ඉන් ගොඩබෑම් සිදුකර ඇත්තේ නෞකා 22ක් පමණක් බව නිදහස් නීතිඥ සංගමය පවසයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් එම සංගමයේ සම කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා මහත්වරුන් පෙන්වා දෙන කරුණු කිහිපයක් පහත දැක්වේ.
ගල් අඟුරු රැගත් ‘ඇනා ඕෂන්’ (Ana Ocean) නෞකාව අත්‍යවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යටතේ මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 142ක මිලකට ගෙන ආවද, එහි ගල් අඟුරු තොගය ගොඩනෑමකින් තොරව පසුගිය 16 වනදා ඉන්දියාවේ විශාඛාපට්නම් බලා පිටව ගොස් ඇත.
පුත්තලම මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති ‘යාසා සන්’ (YASA SUN) නෞකාව මැයි 02 වනදා පැමිණියද, මේ දක්වා එම තොගය ගොඩබෑමක් සිදුකර නොමැත.
‘එම්.වී ජොස්කෝ යොංෂෝ’ (MV JOSCO YONGZHOU) සහ ‘ඇනා ඕෂන්’ යන නෞකා දෙකෙහිම ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රශ්න මතුව තිබුණද, ‘ජොස්කෝ යොංෂෝ’ නෞකාවේ අඟුරු තොගය වෙසක් සතියේදී ගොඩබෑම සිදුව ඇත. නීතිඥවරුන් පවසන්නේ එම තොගය ගුණාත්මකභාවයෙන් බාල බවයි.
නියමිත කාලසටහනට අනුව සියලු නෞකා පැමිණියහොත් සැප්තැම්බර් 2 වනදා දක්වා බලාගාරය පවත්වාගෙන යා හැකි බව බලධාරීන් පැවසුවද, පවතින තත්ත්වය මත දින 16කට පෙර ගල් අඟුරු සංචිත අවසන් වීමේ අවදානමක් පවතින බව ඔවුහු පවසති. ඒ අනුව, බලාගාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට තවත් අතිරේක නෞකා 3ක් ගොඩබෑම අත්‍යවශ්‍ය වේ.
පවතින විදේශ විනිමය හිඟයක් හෝ භාණ්ඩාගාරයේ මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ගල් අඟුරු සැපයුම්කරුවන් වෙත ගෙවීම් අත්හිටුවා ඇත්දැයි සැකයක් පවතින බවත්, එම තත්ත්වය පිළිබඳව බලධාරීන් වහා පැහැදිලි කළ යුතු බවත් නිදහස් නීතිඥ සංගමය අවධාරණය කරයි.
















