ප්‍රංශයේ පැවති ප්‍රමුඛතම තේ ප්‍රදර්ශනය වන “පැරිස් තේ උළෙල 2026” (Paris Tea Festival 2026) සඳහා ශ්‍රී ලංකාව මෙවර ප්‍රථම වරට සහභාගී වූ අතර, එය අති සාර්ථක ලෙස නිමාවට පත් විය. ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ පැරිස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම උළෙලේදී ලොව ප්‍රසිද්ධ “පිරිසිදු ලංකා තේ” (Pure Ceylon Tea) ලෝකයට හඳුන්වා දෙන ලදී.
ජූනි 13 සහ 14 යන දිනවල පැවති මෙම දින දෙකක උළෙල, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ උරුමය, ගුණාත්මකභාවය සහ ලෝක ප්‍රසිද්ධිය විදහා දැක්වීමට ලැබුණු අනගි අවස්ථාවක් විය.
පැරිස් නුවර 15 වන කලාපයේදී පැවති පළමු දිනයේදී, තේ ලෝලීන් දහසකට අධික පිරිසක් ශ්‍රී ලංකා කුටිය වෙත පැමිණි අතර, ඔවුන් උණුසුම් තේ කෝප්ප 1,500කට අධික ප්‍රමාණයක් රස බැලූහ.
පැරිස් සීටේ යුනිවර්සිටෙයාර් (Cité Universitaire de Paris) හි පැවති දෙවන දිනය වෙන් වූයේ තේ වෙළඳ වෘත්තිකයන් සහ ගැනුම්කරුවන් වෙනුවෙනි. මෙහිදී ලංකා තේ ආනයනය කිරීම සහ නව වෙළඳ හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීම පිළිබඳව වැදගත් සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණි.
ලංකාවේ ප්‍රධාන තේ කලාප හතේ සුවිශේෂී ගුණාංග, සම්ප්‍රදායික තේ නිෂ්පාදන ක්‍රම සහ ලෝක පිළිගත් “සිංහ ලාංඡනය” (Lion Logo) සහිත අපගේ තේවල සුවිශේෂත්වය මෙහිදී ප්‍රංශ ජාතිකයින්ට පෙන්වා දෙන ලදී.
ප්‍රංශය යනු ප්‍රිමියම් සහ විශේෂිත තේ වර්ග සඳහා වේගයෙන් වර්ධනය වන වෙළඳපොළකි. එම වෙළඳපොළ තුළ ලංකා තේවලට ලැබෙන මෙම ඉහළ ප්‍රතිචාරය, මෙරට තේ අපනයන ක්ෂේත්‍රයට අනාගතයේදී විශාල දොරටු විවර කරනු ඇත. පැරිස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) ප්‍රසාදි බූමවාලගේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මෙම උත්සාහය සාර්ථක කර ගැනීමට දැක්වූ කැපවීම ඇගයීමට ලක්විය යුතුය.
















