ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව අතර දුනු විදීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ ක්‍රීඩා නිපුණතා ජාත්‍යන්තර මට්ටමට වර්ධනය කිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය (NYC) සහ ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය (SLAA) අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය 17 වැනි දින අත්සන් තබන ලදී.
මෙම හවුල්කාරිත්වය පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.
දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විධිමත් පුහුණු වැඩසටහන්, පුහුණුකරුවන් සවිබල ගැන්වීමේ වැඩමුළු සහ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ ජාතික මට්ටමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම සියලු පුහුණු සැසි සහ තාක්ෂණික දායකත්වය ජාතික යොවුන් සේනාංක යෞවනයින් වෙනුවෙන් පූර්ණ ස්වේච්ඡා පදනමින් සහ නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය එකඟතාවය පළ කර තිබේ.
නුවරඑළිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ජාතික ඉහළ කාර්යසාධන දුනු විදීමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ පරිපාලන සහාය ජාතික යොවුන් සේනාංකය විසින් සපයන අතර, ලෝක දුනු විදීමේ සම්මේලනයේ නීතිරීතිවලට අනුකූලව තාක්ෂණික මඟපෙන්වීම සහ පුහුණු සැලසුම් සම්පාදනය ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය මඟින් සිදු කරනු ඇත.
ඉදිරි වසර පහක කාලසීමාවක් සඳහා බලාත්මක වන මෙම ගිවිසුම මගින් ග්‍රාමීය හා නාගරික තරුණ ප්‍රජාවට දුනු විදීමේ ක්‍රීඩාවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට අවස්ථාව උදාවේ.
අත්සන් තැබීමේ අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල ඇතුළු නිලධාරීන් සහ ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ සභාපති මේජර් අජිත් තිලකරත්න (විශ්‍රාමික) මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















