ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන “Gem City Ratnapura 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා රත්නපුර Grand Silver Ray Hotel පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකයේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයක් වන මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය විධිමත් හා තරඟකාරී කර්මාන්තයක් බවට පත් කරමින්, එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි. දැනට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300කට ආසන්න අපනයන ආදායමක් උපයන මෙම ක්ෂේත්‍රයේ සමස්ත අගය දාමය (Value Chain) ආවරණය වන පරිදි ව්‍යුහාත්මක හා ප්‍රතිපත්තිමය වෙනස්කම් රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනිමින් සිටී.
“Home to the Finest” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන දින දර්ශනයට (Global Calendar) අනුකූල වන පරිදි සැලසුම් කර තිබීම විශේෂත්වයකි. සැප්තැම්බර් මාසයේ නැගෙනහිර ආසියානු කලාපයේ පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා සහභාගී වන ගැනුම්කරුවන්ට ඊට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙරට මැණික් කර්මාන්තයේ සත්‍ය අත්දැකීම ලබාගැනීමේ අවස්ථාව මේ හරහා උදාවනු ඇත.
2025 වසරේ පැවති ප්‍රදර්ශනය සඳහා 7,500කට අධික නරඹන්නන් පිරිසක් සහ විදේශීය ගැනුම්කරුවන් 200කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර, එම සාර්ථකත්වය මත පදනම්ව මෙවර ප්‍රදර්ශනය ඊටත් වඩා පුළුල් ජාත්‍යන්තර සහභාගීත්වයක් සහ ව්‍යාපාරික අවස්ථා රැසක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එස්. පී. චමින්ද මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ හා පතල්කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත වැලිවත්ත මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් රැසක් සහභාගී වූහ.
















