ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ දූෂණයෙන් තොර පාලන සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් රජය ගෙන යන ප්‍රගතිශීලී වැඩපිළිවෙළ අගයමින්, ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රවලදී ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දීමට කැනේඩියානු රජය එකඟතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර අමාත්‍යාංශයේදී පැවැති විශේෂ නිල හමුවකදී මෙම තීරණය ගෙන ඇත.
දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” හරහා අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීමට කැනේඩියානු රජයේ සහාය හිමි වීමට නියමිතය. එමෙන්ම වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයන් සඳහා දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ද මහ කොමසාරිස්වරිය මෙහිදී එකඟ විය.
දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද වාතාවරණය වැනි අභියෝග හමුවේ වුවද, රජය ජනතා අභිලාෂයන් ඉටු කිරීමට ගන්නා උත්සාහය මහ කොමසාරිස්වරියගේ විශේෂ ඇගයීමට ලක් විය. අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















