ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් මෑතකදී නිකුත් කරනු ලැබූ නව ගැසට් නිවේදනය මගින් ආනයන කටයුතු සීමා කිරීමක් සිදු නොවන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. මෙම පියවරේ මූලික අරමුණ වන්නේ ආනයන සඳහා සිදු කරනු ලබන ගෙවීම් විධිමත්ව අධ්‍යයනය කරමින්, දේශීය විදේශ විනිමය සංචිත අනවශ්‍ය ලෙස රටින් පිටතට ගලා යාම වැළැක්වීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙම තීරණය ගැනීමට මූලික වූ හේතුව ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ කරුණු පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, ඇතැම් පාර්ශ්ව ව්‍යාජ ලෙස සමාගම් ලියාපදිංචි කර ආනයන අපනයන ක්‍රියාවලියට මුවාවී විදේශ විනිමය රටින් පිටතට යැවීමට කටයුතු කර ඇති බව සඳහන් කළේය. නව ගැසට් නිවේදනය යටතේ ආනයනකරුවන්ගේ නිවැරදි ලිපිනය, බැංකු ගිණුම් අංකය, ආනයනය කරන භාණ්ඩ සහ ගෙවීම් කරන මුදල් ඒකකය ඇතුළු සියලු තොරතුරු විධිමත්ව වාර්තා කිරීම අනිවාර්ය කර ඇත.
මෙම නව යාන්ත්‍රණය යටතේ සෑම බැංකුවක් මගින්ම එක් එක් ගනුදෙනුව සඳහා වෙනම අංකයක් පවත්වාගෙන යාම අනිවාර්ය කෙරේ. මෙම විනිවිදභාවය ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ගය හරහා විනිමය කාන්දු වීම් අවම කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන අතර, ඉදිරියේදී නීත්‍යනුකූල ආනයනකරුවන්ට වඩාත් විධිමත් සහ ආරක්ෂිත මූල්‍ය පරිසරයක් තුළ සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
















