බෙල්ජියම සහ ලක්සම්බර්ග් රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාවේ පවතින වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු “බෙල්ගොලක්ස් ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2026″ අද (19) පෙරවරුවේ කොළඹ වරාය නගර පරිශ්‍රයේදී ආරම්භ විය.
මෙම උපායමාර්ගික සමුළුව බෙල්ජියම් – ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, බෙල්ගොලක්ස් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය (BLSBC), ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලය සහ කොළඹ වරාය නගරය ඒකාබද්ධව සංවිධානය කර ඇත. ජූනි 17 සිට 21 දක්වා ක්‍රියාත්මක වන “බෙල්ගොලක්ස්” මෙහෙයුමට සමගාමීව මෙය පැවැත්වේ. වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම, නවෝත්පාදන සහ තිරසර ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ රාජ්‍ය නායකයින්, ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් එකම වේදිකාවකට රැගෙන ඒම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණු වේ.
සමුළුවේ සමාරම්භක අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන් සහභාගී වූහ. තවද යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ, බෙල්ජියම් තානාපති ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් සහ ලක්සම්බර්ග් තානාපති ක්‍රිස්ටියන් බීවර් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ යුරෝපා සංගමය සැමවිටම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ විශ්වාසවන්තම ආර්ථික හවුල්කරුවෙකු වන අතර, එය මෙරට අපනයන, සංවර්ධනය සහ ආයෝජන සඳහා ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස කටයුතු කරන බවයි. ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ වරාය නගර ආර්ථික කොමිසම නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව දේශන පැවැත්වූහ.
















