වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ මාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘සඟරජ බුහුමන්’ ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය, ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහනුවර කුණ්ඩසාලේ පල්ලේකැලේ සිබා විශ්වවිද්‍යාලයේදී (SIBA Campus) පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම ජාතික උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්වූහ. මහෝත්සවයට සමගාමීව පිරිවෙන් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ නිපුණතා වර්ධනය වෙනුවෙන් සිබා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ විශේෂ ප්‍රදර්ශන කුටි 20ක් පැවැත්වුණු අතර, එහිදී අන්තර් පාරිවේණික තරගාවලිවල ජයග්‍රාහකයින්ට සහතිකපත් හා කුසලාන ප්‍රදානය කිරීම මෙන්ම පිරිවෙන් පද්ධතියේ උන්නතිය උදෙසා සුවිශේෂී සේවාවක් ඉටුකළ මහා සංඝරත්නය ඇතුළු විශිෂ්ට පුද්ගලයන් දස දෙනෙකුට උපහාර පිදීම ද සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ ශාසනික උරුමය සහ පිරිවෙන් අධ්‍යාපනය අගයමින් සංවිධානය වූ මෙම මහෝත්සවය මෙරට ප්‍රධානතම ජාතික ආගමික උත්සවයක් ලෙස ඉතිහාසයට එක්වේ.
















