වතුකරයේ පාසල් අධ්‍යාපනය නිම කළ තරුණ තරුණියන් වෙනුවෙන් හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය පුහුණු වැඩසටහන් ඉතා සාර්ථකව පවත්වාගෙන යන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය පවසයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම මධ්‍යස්ථානය මගින් වෘත්තීය පුහුණුව ලබාගත් තරුණ තරුණියන් රැසක් මේ වන විට ස්වයං රැකියාවල නිරත වෙමින් සාර්ථක ආදායමක් උපයා ගන්නා බව මන්ත්‍රීවරිය සඳහන් කළාය. හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් විසින් සංවිධානය කළ ප්‍රදර්ශනයකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමෙන් අනතුරුව ඇය මේ බව පැවසුවාය. ඉදිරියේදී තවත් සිසු සිසුවියන් විශාල පිරිසකට මෙම අවස්ථාව ලබා දීමට කටයුතු යොදා ඇති බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් මෝටර් කාර්මික, විදුලි කාර්මික, වෑල්ඩින්, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අලුත්වැඩියාව, හෙද සේවාව, රූපලාවන්‍ය, ජුකී මැෂින් තාක්ෂණය, පරිගණක සහ සුපවේදය වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වෘත්තීය පාඨමාලා 17ක් ක්‍රියාත්මක කරයි. මාස 6ක සිට වසරක කාලයක් දක්වා නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලා අවසානයේ සිසුන් සඳහා පිළිගත් වෘත්තීය සහතිකපත්‍රයක් ද පිරිනමනු ලැබේ.
මධ්‍යස්ථානයේ විදුහල්පති එස්. සරවනන් මහතා පෙන්වා දුන්නේ, දැනටමත් මෙම මධ්‍යස්ථානයෙන් පුහුණුව ලැබූ විශාල පිරිසක් සමාජයේ විවිධ රැකියාවල නිරත වෙමින් සාර්ථක ගමන් මගක සිටින බවයි. සිසුන්ගේ නිර්මාණ එළිදැක්වෙන මෙම ප්‍රදර්ශනය අද (20) දිනය දක්වා මහජනතාව සඳහා නොමිලේ විවෘතව පවතී.
















