දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ ජනතාවට ස්ථාවර ජීවිතයක් උරුම කරදීමේ අරමුණින්, නිල ඉඩම් හිමිකම් සහ නිවාස ඉදිකිරීම සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප්රදානය කිරීම ඊයේ (19) උඩුදුම්බර බටුමුල්ල විද්‍යාලයේදී සිදු කෙරිණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු තේක්කවත්ත ප්‍රදේශයෙන් අක්කර 30ක ඉඩම් ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 114 දෙනෙකු වෙත ලබා දෙන ලදී. නිවාස ඉදිකර ගැනීම සඳහා එක් ප්රතිලාභියෙකුට රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කර ඇති අතර, එහි මූලික අදියර ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් මෙහිදී පිරිනැමිණි.
උත්සවය අමතමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේ, රජය විසින් ආපදාවට පත් වූවන්ට ඔවුන් පෙර සිටි ජීවිතයට වඩා යහපත් ජීවිතයක් ලබා දීම ප්‍රතිපත්තිමය තීරණයක් බවයි. ජනතාවගේ ගැටලු විසඳීම සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන නීතිමය රාමුවට යටත්ව කඩිනමින් ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, දේශපාලන අධිකාරිය ජනතාව වෙනුවෙන් කැප වී සිටින බවත්, පටු වාසි වෙනුවට රටේ භාණ්ඩාගාරයේ ආදායම නැවත ජනතාවගේ සුභසාධනය වෙනුවෙන්ම වැය කරන බවත් සඳහන් කළේය. වත්මන් රජය ගොවි ජනතාවගේ සහ රාජ්‍ය සේවකයින්ගේ සුබසාධනය උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග ද ඔහු මෙහිදී සිහිපත් කළේය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















