මහජන මුදල් වංචා කළ පුද්ගලයින්ට එරෙහිව පවතින නඩු විභාග කිරීම් මේ වන විට වේගවත් කර ඇති බවත්, ලබන වසර යනු එම දූෂිතයින් සහ හොරුන් නීතියේ රැහැනට හසුවී සිරගත කෙරෙන වසර බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ප්‍රකාශ කළේය. පසුගිය රජයන් සමයේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවන්ට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර ගනිමින් පවතින බවත්, මෙම ක්‍රියාවලිය කිසිසේත්ම දේශපාලන පළිගැනීමක් නොව නීත්‍යානුකූලව සිදුවන විධිමත් පරීක්ෂණයක් බවත් ඔහු අවධාරණය කළේය.
මහජන මුදල් අවභාවිත කළ පුද්ගලයින්ට හිමිවිය යුත්තේ සිරදඬුවම් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දැනට ඇප මත සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. නඩු විභාග අවසන් වනතුරු ඇප ලබාදීම සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියක් වුවද, වත්මන් රජය විසින් අලුතින් අධිකරණ පිහිටුවා නඩු විභාග කිරීම් කඩිනම් කිරීම හේතුවෙන් දූෂිතයින්ට නීතියෙන් ගැලවීමට ඉඩක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
හොරකම් කළ ආකාරය තමන්ම හොඳින් දන්නා බැවින්, නීතිය ක්‍රියාත්මක වීමට පෙර එම පුද්ගලයින් ජනතාව ඉදිරියේ කලබලකාරී ලෙස හැසිරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වංචා දූෂණවලට එරෙහිව නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාවයක් බවත්, සාක්ෂි මත පදනම්ව නීතියේ රාමුව තුළ සිටිමින් දූෂිතයින්ට එරෙහිව උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















