විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන් වෙළඳ නැව් සහ සමුද්‍රීය ක්ෂේත්‍රයට අනුයුක්ත කිරීමේ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳ සමාලෝචන රැස්වීමක් වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත සහ විශ්‍රාමික රණවිරුවන්ට ජාත්‍යන්තරව පිළිගත් සමුද්‍රීය සුදුසුකම් ලබාදීම සහ ඔවුන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
රැස්වීමේදී නාවික හමුදාවේ විනය, තාක්ෂණික විශේෂඥතාව සහ පුළුල් අත්දැකීම් උපයෝගී කර ගනිමින් ඔවුන්ව ජාත්‍යන්තර වාණිජ සමුද්‍රීය කර්මාන්තයට යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. විශ්‍රාමිකයින්ට ගෝලීය වශයෙන් පිළිගත් සහතික ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මගින් ඔවුන්ගේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
එසේම පවතින සුදුසුකම් වලංගු කිරීම සහ අඩුපාඩු හඳුනා ගනිමින් ඒවා පියවා ගැනීමට අදාළ උපායමාර්ග සැලසුම් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන්ම ඉංජිනේරු, විදුලි සහ ආහාර සැපයුම් අංශවල නාවිකයින් සඳහා වෙළඳ නැව් ක්ෂේත්‍රයේ පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාපතිවරයා, වෙළඳ නාවික අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ වෙළඳ නැව් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන හරහා විශ්‍රාමික රණවිරුවන්ගේ ජීවනෝපාය මාර්ග තිරසාර කිරීමට සහ ඔවුන්ට දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්ෂේත්‍රවල සාර්ථක වෘත්තීය මාවතක් නිර්මාණය කර දීමට රජය අපේක්ෂා කරයි.
















