සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ දරුවන්ගේ අනාගතය පිළිබඳව දෙමාපියන් තුළ ඇතිවන කනස්සල්ල සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීම වැනි ක්‍රියාවන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බරපතල බලපෑම් එල්ල කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පෙන්වා දෙයි.
විභාග ප්‍රතිඵල නිකුත් වූ මොහොතේ දරුවන්ගේ මානසික තත්ත්වය සහ දෙමාපියන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව කරුණු දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
මියුරු චන්ද්‍රදාස මහතාගේ මගපෙන්වීම්වලට අනුව, පළමුව දරුවාගේ හැකියාවන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. දරුවා සමත් වී ඇත්නම් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඔවුන්ව දිරිමත් කළ යුතු වුවත්, විභාග ප්‍රතිඵල යනු දරුවාගේ සමස්ත ජීවිතයේම සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන එකම නිර්ණායකය නොවන බව දෙමාපියන් වටහා ගත යුතුය.
සමාජ මාධ්‍ය භාවිතය ගැන ද දෙමාපියන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. තමන්ගේ දරුවා හොඳ ප්‍රතිඵල ලබාගත් පමණින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටී. එවැනි ක්‍රියාවන් මගින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ දරුවන් මානසික පීඩනයට සහ ලැජ්ජාවට පත් විය හැකි බැවිනි.
තවද, දරුවාට සවන් දීම ඉතා වැදගත් වේ. ප්‍රතිඵල අඩුවෙන් ලැබුණු දරුවන්ව අධෛර්යයට පත් නොකර, ඔවුන්ගේ වේදනාවට සහ බියට සවන් දී, දරුවා සමඟ සාකච්ඡා කර ඊළඟ පියවර කුමක්ද යන්න පිළිබඳව සුහදව තීරණ ගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතුය.
එමෙන්ම, අසල්වැසි දරුවන් හෝ මිතුරන්ගේ දරුවන් සමඟ තම දරුවාගේ ප්‍රතිඵල සංසන්දනය කිරීමෙන් දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන බව දෙමාපියන් තේරුම් ගත යුතු බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, සාමාන්‍ය පෙළ අසමත් වීම යනු කිසිසේත්ම ජීවිතය අසමත් වීමක් නොවන බවයි. දරුවාගේ සැබෑ දක්ෂතාවය අධ්‍යාපනයෙන් පමණක් මැනිය නොහැකි බවත්, දරුවාට ආදරය සහ සහයෝගය ලබා දෙමින් ඔවුන්ව හරි මාවතට යොමු කිරීම දෙමාපියන් සතු ප්‍රධාන වගකීමක් බවත් ඔහු සිහිපත් කරයි.
















