රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින්, දේශීය ස්වාභාවික සම්පත්වල අගය එකතු කිරීමේ (Value Addition) වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් මාවත්ත ගොවිපොළ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙම ගොවිපොළෙහි පිහිටි උසස් තත්ත්වයේ සිලිකා වැලි නිධිය කාර්යක්ෂමව භාවිතා කිරීම සහ එම සම්පත හරහා ආර්ථික වටිනාකමක් උත්පාදනය කිරීම පිළිබඳව විශේෂ නිරීක්ෂණ චාරිකාවක් ඊයේ දිනයේදී සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘතියේ මූලික පියවරක් ලෙස, සිලිකා වැලිවල අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සඳහා සුදුසු ආයෝජකයන්ගේ අභිලාෂයන් කැඳවීමට අදාළව නිලධාරීන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි. දේශීය කර්මාන්ත ක්ෂේත්රය ශක්තිමත් කිරීමත්, විදේශ විනිමය ඉපයීමේ නව මාර්ග විවෘත කරගැනීමත් මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුසන්ත ජයතිලක මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙම සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් කර්මාන්ත ක්ෂේත්රයේ නව රැකියා අවස්ථා මෙන්ම දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමටත් හැකියාව ලැබෙනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.
















