මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළදී වල් අලින්ට ආහාර ලබාදීමේ වරදට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 40,000 බැගින් දඩ මුදල් නියම කර තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, පසුගිය අප්‍රේල් මාසයේදී විනෝදාස්වාදය සඳහා අලි පැටවුන් දෙදෙනෙකු ඇතුළු වල් අලින් පිරිසකට විවිධ ආහාර ද්‍රව්‍ය ලබාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හෙනානිගල වනජීවී ප්‍රවේශ කාර්යාලයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
මෙම සිදුවීමට අදාළව පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අප්‍රේල් 24 වන දින නඩු පවරා තිබූ අතර, ඉන් පුද්ගලයින් දෙදෙනෙකු වරදකරුවන් කරමින් බ්‍රහස්පතින්දා (18) මෙම දඩ මුදල නියම කෙරිණි. වන සතුන්ට මිනිසා විසින් කෘතිම ආහාර ලබාදීම ඔවුන්ගේ ස්වාභාවික ආහාර ගැනීමේ රටාවන් වෙනස් කිරීමට සහ මිනිසුන් වෙත සමීප වීමට මග පාදන අනතුරුදායක ක්‍රියාවක් බව වනජීවී බලධාරීන් නිරන්තරයෙන් අවධාරණය කරයි.
















