කියුබානු විප්ලවයෙන් පසුව එරට කොමියුනිස්ට් ආර්ථික පද්ධතිය තුළ සිදුවන දැවැන්තම සහ තීරණාත්මකම නිදහස් වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට කියුබානු රජය පියවර ගෙන තිබෙනවා. යෝජිත නව ප්‍රතිසංස්කරණ පියවර 176ක් මීට ඇතුළත් වන අතර, වියට්නාම සහ චීන ආර්ථික මොඩලයන් විශ්ලේෂණය කර සකස් කළ මෙම නව සැලසුම කියුබාවේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය බව හිටපු ජනාධිපති රාහුල් කැස්ත්‍රෝගේ මුනුපුරෙකු වන රාහුල් ගිලර්මෝ රොඩ්‍රිගස් කැස්ත්‍රෝ ද තහවුරු කරනවා. මේ දක්වා නිෂ්පාදනය, මිල ගණන් සහ සම්පත් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම රජය විසින් තීරණය කළ ද, නව ක්‍රමය යටතේ පෞද්ගලික ව්‍යාපාරවලට ඉඩකඩ ලැබෙන අතර රජයේ මැදිහත් වීමකින් තොරව සෘජුවම අපනයන-ආනයන කිරීමට, පෞද්ගලික බැංකු ඇරඹීමට, විදේශගත කියුබානුවන්ට ආයෝජනය කිරීමට සහ ජාත්‍යන්තර ක්ෂණික ආහාර ජාලයන්ට (Fast-food chains) ශාඛා පිහිටුවීමට ද අවසර හිමි වනවා. දේශපාලන විද්‍යාඥ ලුයිස් කාලෝස් බැටිස්ටා පෙන්වා දෙන්නේ දශක ගණනාවක් පැවති විදේශ වෙළෙඳාමේ රාජ්‍ය ඒකාධිකාරය මේ වන විට බිඳ දමා ඇති බවයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කියුබාවේ දේශපාලන හා ආර්ථික ක්‍රමය වෙනස් කිරීම සඳහා හමුදා බලය පවා භාවිත කිරීමේ හැකියාව බැහැර නොකරමින් උපරිම පීඩනයක් එල්ල කරන පසුබිමක, කියුබාවෙන් ඇමෙරිකාවට කිසිදු තර්ජනයක් නැති බව රාහුල් ගිලර්මෝ පවසනවා. පසුගිය ජනවාරි මාසයේ සිට ඇමෙරිකාව පැනවූ දැඩි බලශක්ති සහ මූල්‍ය සම්බාධක නිසා කියුබාවට ඉන්ධන සපයා ගැනීම අහිමි වී ඇති අතර, දිනකට පැය 20ක් දක්වා සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් සෞඛ්‍ය, ප්‍රවාහන හා අධ්‍යාපන ක්ෂේත්‍ර දරුණු ලෙස අඩාල වී තිබෙනවා. විශ්ලේෂකයන් වන ලී ෂ්ලෙන්කර් සහ පාඕලෝ ස්පඩෝනි පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණවලට ඇති ලොකුම බාධකය ඇමෙරිකානු සම්බාධක බවයි; මන්ද සම්බාධක ඉවත් නොකළහොත් කියුබාව සමඟ ගනුදෙනු කරන ආයෝජකයින්ට ඇමෙරිකාවෙන් දඬුවම් විඳීමට සිදුවන බැවිනි. එහෙත් පවතින රාජ්‍ය නිලධාරිවාදී බාධක සහ අවිශ්වාසය මධ්‍යයේ වුවද, මෙම පෙර නොවූ විරූ අර්බුදයෙන් සහ ඇමෙරිකානු පීඩනයෙන් බේරීමට නම් කියුබානු රජය ඉතා කෙටි කාලයක් තුළ මෙම ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල පෙන්විය යුතුම වනවා.
















