මීරිගම ප්‍රාදේශීය සභාව විසින් බැකෝ යන්ත්‍රයක් මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 30කට අධික මහජන මුදලක් අවභාවිත කර ඇති බවට චෝදනා කරමින් එම සභාවේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති කරුණු පහත පරිදි වේ.
පසුගිය පෙබරවාරි මාසයේ පැවැති මහා සභා වාරයේදී, ප්‍රදේශයේ ඉඩම් වෙන්දේසිකරුවන්ගෙන් ලැබුණු රුපියල් 3,015,000ක පරිත්‍යාගයකින් මෙම බැකෝ යන්ත්‍රය මිලදී ගත් බව සභාපතිවරයා පවසා ඇත. එසේම, තමන්ගේ නිල බලය යොදාගෙන අදාළ ආයතනවලින් එම මුදල් ලබාගත් බව ඔහු ප්‍රකාශ කර තිබේ.
පෙබරවාරි 11 වැනිදා යන්ත්‍රය මිලදී ගැනීමට යැයි පවසමින් සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගෙන් රුපියල් 215,000ක මුදලක් ලබාගෙන ඇති අතර, පසුව එම මුදල සභා අරමුදලින් ඔහුට නැවත ගෙවීමට මූල්‍ය කමිටුව හරහා යෝජනා සම්මත කරගෙන ඇත. සභාපතිවරයා බැංකු වාර්තා හෝ කිසිදු නිල රිසිට්පතක් නොමැතිව මෙවැනි මුදල් ගනුදෙනු සිදු කිරීම දැඩි සැකයට තුඩු දෙන්නකි.
ඉඩම් වෙන්දේසිකරුවන්ගෙන් ලැබුණු බව කියන රුපියල් ලක්ෂ 27ක පමණ මුදල ලබාගත් දිනයක් හෝ ඊට අදාළ නිල සාක්ෂි සභාව සතුව නොමැත. මෙම මුදල් බැංකුගත නොකර සභාපතිවරයා සන්තකයේ තබාගෙන සිටීම රජයේ මිලදී ගැනීමේ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව මන්ත්‍රීවරු පෙන්වා දෙති.
මෙම පැමිණිල්ල සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජනතා පක්ෂය නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් එක්ව සිටියහ.
අල්ලස් කොමිසමට අමතරව බස්නාහිර පළාත් පාලන කොමසාරිස්, ගම්පහ සහකාර පළාත් පාලන කොමසාරිස් සහ ගම්පහ විගණකාධිපති වෙතද මෙම පැමිණිල්ලේ පිටපත් යොමු කරමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මන්ත්‍රීවරු ඉල්ලා සිටිති.
















