මඩකලපුව, කල්ලාඩි පාලම අසල සිට ගාන්ධි උද්‍යානයේ ඇති ‘යුක්තියේ වෘක්ෂය’ (Justice Tree) දක්වා දිනපතා උදෑසන 9.00ට නිහඬව ඇවිද යන කුඩා කණ්ඩායමක්, පසුගිය සතියේ අඛණ්ඩව දින 1,500ක අරගලයක් සපිරීය. 2022 මැයි 12 දින ආරම්භ වූ මෙම සාමකාමී පා ගමන, හුදෙක් විරෝධතාවක් පමණක් නොව, දශක ගණනාවක් පුරා පවතින ගැටලු සඳහා යුක්තිය ඉල්ලා සිටින ජීවමාන සාක්ෂියකි.
අරගලයේ ආරම්භය සම්බන්ධයෙන් සලකන විට, 2022 මැයි 9 වන දින ගාලු මුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනී සරලා එම්මානුවෙල් සහ පිරිසක් මඩකලපුවේදී මෙම පා ගමන ආරම්භ කළහ. ඔවුන්ගේ මූලික අරමුණ වූයේ හුදෙක් පාලකයන් වෙනස් කිරීම පමණක් නොව, මූලික පද්ධතිමය වෙනසක් උදෙසා හඬ නැගීමයි. ආරම්භයේදී දින පහකට පමණක් සීමා කිරීමට සැලසුම් කළ මෙම පා ගමන, අද වන විට දෛනික විනයක් සහ සාමූහික අරගලයක ස්වරූපයක් ගෙන ඇත.
මෙම පා ගමනට සහභාගී වන්නන් කිසිදු විශේෂිත මොහොතකට හෝ හේතුවකට පමණක් සීමා නොවී, යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් සත්‍යය සහ යුක්තිය ඉල්ලා සිටීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) විරුද්ධ වීම, උතුරු-නැගෙනහිර හමුදාකරණයට එරෙහි වීම, කාන්තාවන් සහ දැරියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නවතා දැමීම සහ ඉඩම් අයිතිය තහවුරු කිරීම මෙන්ම සෑම මසකම 7 වැනිදා ගෝලීය වශයෙන් පීඩාවට පත් ජනතාව (පලස්තීනය ඇතුළු) වෙනුවෙන් සහයෝගය පළ කිරීම වැනි පුළුල් පරාසයක ගැටලු සඳහා හඬ නගති. ප්‍රධාන වශයෙන් කාන්තාවන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට, කුඩා දරුවන්ගේ සිට විවිධ පාර්ශ්වයන් සහයෝගය ලබා දෙයි. කිසිදු දිනක මෙම පා ගමන අතහැර දමා නොමැති අතර, අවම වශයෙන් එක් අයෙකු හෝ සහභාගී වුවහොත් පා ගමන අඛණ්ඩව සිදු කෙරේ.
ගාන්ධි උද්‍යානයේ ඇති විශේෂිත වෘක්ෂයක් අසල පා ගමන අවසන් කෙරෙන අතර, එය ඔවුන්ගේ ‘යුක්තියේ වෘක්ෂය’ ලෙස නම් කර ඇත. දිනපතා භාවිත කරන පුවරු එහි එල්ලා තැබීමෙන් එය වසර 1,500ක අරගලයේ මතක ගබඩාවක් ලෙස ක්‍රියා කරයි. මෙය අතුරුදහන් වූවන් සිහිපත් කරන ජීවමාන ස්මාරකයක් මෙන්ම, අරගලයේ හමුවීමේ ස්ථානය ලෙස ද වැදගත් වේ.
මෙම පා ගමනේ ව්‍යුහය යුද සමයේදී මඩකලපුවේ කාන්තාවන් විසින් හදිසි නීති රෙගුලාසිවලින් බේරී සිය විරෝධය පෑම සඳහා භාවිත කළ ක්‍රමවේදයකින් උරුම වූවකි. 1993 වසරේ සිට එවක අතුරුදහන් වූවන් වෙනුවෙන් මඩකලපුවේ මව්වරුන් සිදු කළ පූජා සහ පා ගමන්වලින් මෙම අරගලය තවදුරටත් ආභාෂය ලබා ඇත.
















