ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමේ සඳහන් වගකීම් සහ බැඳීම්, විශේෂයෙන්ම ලෙබනනයේ පවතින ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය වගකීම් අකුරටම ඉටු කරන බව තහවුරු කර ගැනීම ඉරානයේ ප්‍රධාන අරමුණ බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බඝායි මහතා අවධාරණය කරයි. ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වෙන මෙම ඉහළ පෙළේ සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිස සහභාගී වී ඇත්තේ එම ගිවිසුමේ අන්තර්ගත කරුණු ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇමරිකාවට මතක් කර දීම සඳහාය.
අත්සන් තැබූ ගිවිසුමක් සතු සැබෑ වටිනාකම පවතින්නේ එය ක්‍රියාත්මක කිරීමේ අවධිය මත බවත්, අතීතයේදී ඇමරිකාව දුන් පොරොන්දු කඩ කිරීමේ අත්දැකීම් හමුවේ ඉරානය මෙවර ඉතා දැඩි හා බැරෑරුම් ලෙස තම අයිතිවාසිකම් සහ බැඳීම් ඉල්ලා සිටින බවත් බඝායි මහතා පැවසීය. ලෙබනනයේ යුද ක්‍රියාකාරකම් නතර කිරීම ගිවිසුමේ පළමු වගන්තිය වන අතර, එම කොන්දේසිය ඉටු නොවන තෙක් සාම සාකච්ඡා සඳහා ඉදිරියට යාම අපහසු බව ද ඉරානය පෙන්වා දෙයි. මෙම සාකච්ඡා සඳහා ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාඝර් ගාලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි මහත්වරුන් ප්රමුඛ දූත පිරිසක් එක්ව සිටින අතර, මධ්‍යස්ථ පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම ක්‍රියාවලිය කලාපීය සාමය උදෙසා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















