පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් පාළමට යටින් මහවැලි ගගට මායිම්ව ඇති බිම් තීරුවේ “ආදර බංකු ” කිහිපයක් අලුතින් ස්ථානගත කර තිබේ.මෙම බංකු වල අසුන්ගෙන ඡායාරූපයක් ලබාගෙන එය ෆේස් බුක් පිටුවට එක් කරන ලෙසද විශ්වවිද්‍යාලයේ ෆේස්බුක් පිටුවේ ආරාධනයක් කර තිබේ.
මෙම බංකු ස්ථානගත කර ඇති කෝණය සහ එහි සිට ගගට ඇති දුර සැලකීමේදී ඡායාරූප ශිල්පියා විසින් ඡායාරූප ලබාගත යුත්තේ, ගගට බැස බව බැලූ බැල්මට පෙනේ. එසේම එම බංකු වල අසුන්ගෙන ඡායාරූපයක් ලබාගැනීමේදී මහවැලි ගග හෝ අක්බාර් පාළම පසුබිම් වන්නේ නැත. මෙම ලව් බංකුව පිළිබදව සිදු කරන ලද දැන්වීමේ පවා බැංකුව ඡායරුපයට නගා ඇත්තේ පසුපසින් සහ ඉහළින් පමණය. ඊට හේතුව වන්නේ, යම් අයෙකු එහි වාඩි වී සිටිනා ඡායාරුපයක් ගැනීමට නම්, කැමරා ශිල්පියා මහවැලි ගගට යා යුතුවීමයි. අනුව පැහැදිලි වන්නේ ඡායාරූප ශිල්පය පිලිබදව හෝ ස්වභාවික පරිසරයේ සුන්දරත්වය පිලිබද අවබෝධයකින් තොරව මෙම බංකු ස්ථානගත කිරීම සිදුකර ඇති බවය.මෙම කාර්යය කල මහදැනමුත්තන්ට අවම තරමේ මෙම බංකු යම් ක්‍රමාණුකූල පිලිවෙලකට ස්ථානගත කිරීමටවත් හැකියාවක් තිබී නැති බව පෙනේ.
විශ්වවිද්‍යාලයයේ ෆේස්බුක් පිටුවේ මතක බංකු සදහා වන පොස්ටුවට දමන ලද කමෙන්ට් එකක සදහන් වන්නේ අහල පහල ඇති බංකු කිහිපයක් දැන් එම ස්ථාන වල නොමැති බවය. එසේ නම් සිදුව ඇත්තේ, අවම තරමේ අලුතෙන් බංකුවක් හෝ නොගෙන, අටුව කඩා ආදර බංකු ගැසීමක් බව කිව හැකිය.
වැදගත්ම කාරණය වන්නේ බඹර වද රාශියක් සහිත කලාපයක සහ අතු කඩා වැටෙන දැවැන්ත ගස් යට මෙම බංකු ස්ථානගත කර එහි අසුන්ගන්නන්ගේ ජීවිත ද අවදානමකට ලක් කර තිබීමය.
“ගස් නැති රටේ තුත්තිරි ගසත් මහ ගසකි” යයි කියමනක් තිබේ.ඒ අනුව කිසිදු නව සංවර්ධන ව්‍යාපෘතියක් නැති පේරාදෙණියට, බංකු ව්‍යාපෘතියත් මහා දැවැන්ත ව්‍යාපෘතියක් බව පෙනේ.පේරාදෙණියේ ශිෂ්‍ය ප්‍රජාව නම් කියන්නේ ශිෂ්‍යයන්ට මේ වෙලාවේ අවශ්‍ය “ලව් බංකු” නොව නේවාසිකාගාර පහසුකම්, දේශන ශාලා පහසුකම් ආදිය බවයි.
ශිෂ්‍ය ප්‍රජාවේ ඇත්ත අවශ්‍යතා අමතක කර, තාවකාලික “චූන්” ලබාදෙන මෙවැනි හිස් ව්‍යාපෘති ඉහල පරිපාලනයේ ලකුණු අපේක්ෂාවෙන් ඇතැම් ඇම්බැට්ටයන් විසින් සිදුකරන ඇන්දවීම් විය හැකිය. අපට මෙහිදී මතක් වන්නේ එවැනි තක්කඩියෙකුගේ බසට රැවටී “සීතාම්බර පට” ඇදගෙන හෙලුවෙන් ගිය රජෙකු පිලිබදව කතාවය.
සීතාම්බර පට සලු උපකුලපතිතුවරුන්ටද අන්දන්නට දත කන පුද්ගලයන් මෙකලද සිටින්නට බැරිකමක් නැත.
















