ප්රජාතන්ත්රවාදී අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදී සියලු ප්රජාතන්ත්රවාදී ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.වත්මන් රජය ජනතාව ලබාදුන් අසීමිත බලය යොදාගනිමින්, පාර්ලිමේන්තුවේ විවිධ කමිටු සහ තේරීම් කාරක සභා තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන බවට ඒ මහතා චෝදනා කරයි.ඉදිරි මැතිවරණවලදී කිසිදු පාර්ශවයකට සුවිශාල මන්ත්‍රී නියෝජනයක් ලබා නොදිය යුතු බවත්, රට පාලනය කිරීමට සාමාන්‍ය සුළු බහුතරයක් ප්‍රමාණවත් බවත් ඔහු පෙන්වා දෙයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා මන්ත්‍රී ධූර ලැබුණු විට ‘බල උන්මාදයෙන්’ කටයුතු කිරීම සිදුවන බව ඔහු සඳහන් කරයි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජය ද එවැනි බල උන්මාදයකින් කටයුතු කරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණ දැන් ප්රජාතන්ත්රවාදය හකුළා තනි පක්ෂ පාලනයක් (One-Party State) කරා රට ගෙනයමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පවසයි. රට තනි පක්ෂ පාලනයක් කරා ගෙනයන මෙම තත්ත්වයට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, ලක්ෂ 220ක් වන ජනතාව මේ තත්ත්වයෙන් හොඳ පාඩමක් ඉගෙන ගනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















