ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් ‘Daily Mirror’ පුවත්පතේ මුල් පිටුවේ පළ වූ අසත්‍ය සහ නොමග යවන සුළු වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය දැඩි අප්‍රසාදය පළ කර සිටියි. ජනාධිපති මාධ්‍ය අංශය නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ, මෙම වාර්තාව කිසිදු සත්‍ය කරුණකින් තොරව හිතාමතාම ජනතාව නොමග යැවීමේ අරමුණින් ප්‍රකාශයට පත් කර ඇති බවයි. ජාතික මට්ටමේ ක්‍රීඩා ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් මෙවැනි අසත්‍ය තොරතුරු වාර්තා කිරීම ජාතික ආරක්ෂාවට සහ ක්‍රීඩාවේ කීර්ති නාමයට කරන බලවත් හානියක් ලෙස රජය පෙන්වා දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අයි.සී.සී. සභාපති ජේ ෂා මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාව, ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ගනු ලැබූ සුහදශීලී සාකච්ඡාවක් පමණක් බව රජය තහවුරු කරයි. බිම් මට්ටමේ සහ යොවුන් ක්‍රිකට් වැඩසටහන් දියුණු කිරීම සහ දක්ෂ තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අවස්ථා උදා කර දීම වැනි ක්‍රීඩා සංවර්ධන අරමුණු පමණක් එහිදී සාකච්ඡා කෙරුණු අතර, අසාදු ලේඛනගත කිරීම් හෝ මැතිවරණ ඉල්ලීම් වැනි කිසිදු අසත්‍ය කරුණක් එහිදී මතු නොවූ බව දෙපාර්ශවයම X ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධියේ තහවුරු කර තිබේ.
මෙම අසත්‍ය වාර්තාකරණය හරහා ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය දූෂණය කිරීමට ගත් උත්සාහය දේශපාලනිකව හෝ පටු පරමාර්ථ මුල් කරගෙන සිදු වූවක් බව පෙනී යයි. වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස මෙවැනි අසත්‍ය වාර්තා පළ කිරීමේ ආදීනව සමාජගත කිරීම අතිශය අහිතකර වන අතර, ඉදිරියේදී මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව රජය විසින් නිසි නීතිමය ක්‍රියාමාර්ග සහ රාජ්‍ය ප්‍රතිචාර දැක්වීම අනිවාර්ය වනු ඇත. සත්‍ය තොරතුරු සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛතම අපේක්ෂාවයි.
















