ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් පසු සමස්ත වෙළඳපොළ තුළම බදු ප්‍රතිපත්තිවල අසමතුලිතතාවයක් නිර්මාණය වී ඇති බව විරයිට් රිසර්ච් ආයතනය විසින් සිදුකළ පර්යේෂණයකින් හෙළිවී තිබේ. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් වැට් බදු ඇතුළු බදු ප්‍රතිශතයන් බොහෝ භාණ්ඩ සඳහා දෙගුණයකටත් වඩා වැඩි කර තිබියදී, දුම්වැටි සඳහා වන බදු ප්‍රතිශතය නිරපේක්ෂ වශයෙන් පහත වැටීම බරපතල කතාබහකට ලක්ව ඇත.
වෙළඳපොළේ පවතින බොහෝ භාණ්ඩ අතරින් බදු ආදායම පහළ ගිය එකම නිෂ්පාදනය දුම්වැටි විය හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙයි. මේ අතර, එම නිෂ්පාදන අලෙවි කරන සැපයුම්කරුවන්ගේ ආදායම එම කාලසීමාව තුළ ඉහළ ගොස් තිබීම තුළින් බදු ප්‍රතිපත්තියේ සෘජු වාසිය සමාගම් වෙත ලැබී ඇති බව පැහැදිලිය. පාරිභෝගික භාණ්ඩ මත ඉහළ බදු බරක් පැටවෙද්දී දුම්වැටි වැනි අහිතකර නිෂ්පාදන සඳහා සහනශීලී බදු පද්ධතියක් ක්‍රියාත්මක වීම සාධාරණ ආර්ථික කළමනාකරණයක් දැයි විචාරකයින් ප්‍රශ්න කරයි.
















