ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනවල පවතින සංඥා භාෂා පරිවර්තක පුරප්පාඩු සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (22) දින සිදු කෙරිණි.
මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරුණේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදීය.
සංඥා භාෂාව ද ප්‍රධාන භාෂාවක් ලෙස පිළිගැනීමට ලක් කළ යුතු බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා සංඥා භාෂා පරිවර්තකයන්ට පැවරෙන්නේ විශේෂ වගකීමක් බවත්, මෙය හුදෙක් රැකියාවකට එහා ගිය මානුෂීය සේවාවක් ලෙස සලකා කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දැක්වීය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, සමාජ සේවා අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය සහ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















