සිය පෙම්වතියගේ බාල වයස්කාර දියණියට පහර දී කෲරත්වයට පත් කිරීමේ සිද්ධියකට අදාළව පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා මහතා අද (22) නියෝග කළේය.
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පිටකොටුව, බැස්ටියන් මාවතේ පදිංචි ලක්ෂිත තුෂාර ධනංජය පෙරේරා නැමැති පුද්ගලයෙකි. ඔහු කොළඹ බැස්ටියන් මාවතේ පැරණි බස් නැවතුම්පොළේ කඩ කාමරයක නවාතැන් ගෙන සිටින්නෙකි.දැරිය නිතර අඬන බව පවසමින් සැකකරු ඇයට පහර දී කෲරත්වයට පත් කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ලැබුණු පැමිණිල්ලකට අනුව පිටකොටුව පොලිසියේ කාන්තා කාර්යාංශය මගින් සිදුකළ පරීක්ෂණයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ මව 23 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය පවසන පරිදි මෙම දරුවාට මීට පෙර දිනයක රාත්රියේදී ද සැකකරු විසින් පහර දී ඇත.
















