යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භයේ සිටම වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව රජය පවසයි.
වී මිලදී ගැනීම සහ වී මිල තීරණය කිරීම සම්බන්ධයෙන් ගොවි සංගම් නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.මහා පරිමාණ වී වෙළඳුන්ගෙන් නොව, සැබෑ වී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට රජය ප්‍රමුඛතාවය ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.ගොවියාට අසාධාරණයක් නොවන අයුරින් කරුණු සලකා බලා වී මිල තීරණය කරන බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.මේ අතර, හම්බන්තොට පැවති උත්සවයකින් අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ද කියා සිටියේ යල කන්නයේ අස්වනු නෙළීමේ ආරම්භයේ සිටම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
















