ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් අතර සාකච්ඡාවක් අද (22) පැවැත්විණි.
ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.
ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රායෝගික ගැටලු, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සහ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ඒ වෙනුවෙන් එක්වන ලෙස ආයෝජකයින්ට ආරාධනා කළේය.වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා අවධානය යොමු කළ අතර, ලබා දිය හැකි සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරිකයන්ට දැනුම් දුන්නේය.වෙළෙඳපොළ අවස්ථා ඉහළ නංවා ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නංවා ගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.අයථා ලෙස උපයන ධනය මෙරටින් පිටතට ගලා යාම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
















