නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා එළඹෙන ජූනි 24, 25 සහ 26 යන තෙදින පුරා දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි දැවැන්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙටි කාලීන ඩෙංගු මර්දන පියවරක් ලෙස සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද මෙහිදී පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඩෙංගු මර්දනය සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගුකාලීන උපායමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර, එහිදී මෙම තීන්දු තීරණවලට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිල වශයෙන් නිවේදනය කරනවා.
මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ සුවිශේෂී තීරණයක් වන්නේ ඩෙංගු මර්දන කටයුතු නිසි පරිදි සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් විශේෂ අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමයි. මීට අමතරව, දැනට ප්‍රාදේශීය මට්ටමින් සක්‍රීයව පවතින ප්‍රජා ශක්ති සහ මහජන ආරක්ෂක කමිටු ද මෙම ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෘජුවම දායක කරගනිමින් කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට තීරණය කර තිබෙනවා. වර්තමානයේදී පාසල්, කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන සහ විවිධ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වන අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බැවින්, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පිරිසිදු කිරීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණු අතර, වරින් වර ඇතිවන මෙවැනි වසංගත ප්‍රවණතා අනාගතයේදී මුළුමනින්ම වළක්වා ගැනීමට ගත යුතු දිගුකාලීන සැලසුම් පිළිබඳව ද බලධාරීන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
















