දිවයිනේ සියලුම පළාත් නවයම ආවරණය වන පරිදි 2027 වසරේ සිට ඒකාබද්ධ පොදු පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම සඳහා වන මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරනවා. “මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැඩසටහන” ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය පෙන්වා දුන්නේ, මුල් ළමාවිය අධ්‍යාපනය රටේ සමස්ත අධ්‍යාපන පද්ධතිය සමඟ ඒකාබද්ධ කළ යුතු බවත්, එය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්ය.
ශ්‍රී ලංකාවේ වත්මන් පෙරපාසල් අධ්‍යාපනය අවිධිමත් මට්ටමක පවතින අතර, එය මෙතෙක් විධිමත් රාජ්‍ය සේවාවක් ලෙස පිළිගෙන නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරිය, පෙරපාසල් ගුරුවරුන් බඳවා ගැනීම සඳහා සම්මත ක්‍රමවේදයක් හෝ මෙම ක්ෂේත්‍රය නිසි ලෙස අධීක්ෂණය කිරීම සඳහා වගකිය යුතු නිශ්චිත අමාත්‍යාංශයක් මෙතෙක් නොතිබූ බව ද අවධාරණය කළාය. යෝජිත නව ප්‍රතිසංස්කරණ හරහා රට පුරා වඩාත් ව්‍යුහාත්මක, විධිමත් සහ එක හා සමාන පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
















