කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්ත රියදුරු සේවකයින් සහ නිලධාරීන් එක්ව, අරණායක වාකිරිගල ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේ අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක ඉදිකළ නව භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ඒකකය සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් ජනතා අයිතියට පවරා තිබෙනවා. දැනට සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන කිසිදු බාහිර රෝහලක මෙම සේවාව නොමැති අතර, මධ්‍යම රජයේ රත්නපුර ශික්ෂණ රෝහල සහ කෑගල්ල දිස්ත්‍රික් රෝහල හැරුණු විට පළාත් සභා රෝහලක මෙවැනි පහසුකමක් ස්ථාපිත කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි. අංශභාගය, හන්දි අමාරුව සහ අනතුරුවලින් ආබාධිත වූ රෝගීන්ට ප්‍රතිකාර දෙන මෙම ඒකකය සඳහා රියදුරන් රුපියල් 70,000ක මුදලක් සහ ඉවතලන උපකරණ ප්‍රතිසංස්කරණය කර යොදාගෙන තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික් රෝහල් කාර්ය මණ්ඩලය සතියට දින දෙකක් මෙහි පැමිණ ප්‍රතිකාර සේවා සැපයීමට නියමිත අතර, මෙම උදාර කාර්යයට දායක වූ රියදුරන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආණ්ඩුකාරවරියගේ විශේෂ ඇගයීමට ලක් වුණා. මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහ කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නතාර්ෂනී පෙරියසාමි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
















