මෙම වසර අවසන් වීමට පෙර මහනුවර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේ, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රඹුක්කන සිට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගයේ ස්ථාන 97කට හානි සිදුව ඇති බවයි. ඉන් ස්ථාන 92ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අවසන් කර ඇත.
ඉතිරිව ඇති ස්ථාන 5 ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයා දැක්වූ කරුණු අනුව, එම ස්ථාන සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ (NBRO) තාක්ෂණික සහාය ලබාගැනීමට පියවර ගෙන තිබේ. මෙම ස්ථානවලට ප්‍රවේශ වීමේ අපහසුතා පවතින බැවින්, අලුත්වැඩියාවට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන්නේ දුම්රිය මගින් පමණි. මහනුවර දක්වා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, මහනුවර සිට වත්තේගම සහ වත්තේගම සිට මාතලේ දක්වා වූ දුම්රිය මාර්ග කොටස් ද කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.
බදුල්ලේ සිට අඹේවෙල දක්වා දුම්රිය මාර්ග කොටස මේ වනවිටත් මහජනතාව සඳහා විවෘත කර ඇති බවත්, සමස්ත උඩරට දුම්රිය මාර්ගය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















