සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජේ.එම්.යූ.කේ. ජයසේකර මහතා පත් කර තිබේ. ඒ සඳහා අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙන ලදී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ජයසේකර මහතා, මෙම පත්වීමට පෙර ඌව පළාතේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු සතු පරිපාලන අත්දැකීම් අතර ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය, ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන සහ මිරිදිය ධීවර කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරය, ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සහ ඌව පළාත් සභාවේ ලේකම් ධුරයන් මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ වැඩ බලන කොමසාරිස් ජනරාල් ධුරය ද වේ. එසේම ඔහු ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ධුරය සහ මොනරාගල, තණමල්විල හා සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් ධුරයන් ද හොබවා ඇත.
පරිපාලන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත ජයසේකර මහතා, මීට පෙර ද රාජ්‍ය සේවයේ විවිධ තනතුරු හොබවමින් කැපීපෙනෙන මෙහෙවරක් ඉටු කර ඇත.















