පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල පණිවිඩයක් ලෙස පෙනී සිටිමින් WhatsApp ඔස්සේ සිදුකරන ඉතා සූක්ෂ්ම මූල්‍ය වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනතාව විශේෂයෙන් දැනුවත් කරයි. ඉතා නීත්‍යනුකූල සහ නිල ස්වරූපයෙන් මෙම පණිවිඩ සකස් කර ඇති බැවින්, ඕනෑම අයෙකුට පහසුවෙන් වංචාවට හසු වීමේ දැඩි අවදානමක් පවතියි.
මෙම වංචාකරුවන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල දුරකතන අංක සහ ඊමේල් ලිපිනයන් යොදාගනිමින්, කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගයක් ලෙස පෙනී සිටින පණිවිඩයක් එවනු ලබයි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතට අනුව ජාතික හැඳුනුම්පත් තොරතුරු යාවත්කාලීන කිරීමට සහ සත්‍යාපනය කිරීමට කැඳවීමක් කරමින් මෙම පණිවිඩය සකස් කර ඇත.
විශේෂත්වය වන්නේ, එම පණිවිඩය තුළ අදාළ පුද්ගලයාගේ සම්පූර්ණ නම, හැඳුනුම්පත් අංකය සහ ලිපිනය නිවැරදිව සඳහන් කර තිබීමයි. එමෙන්ම එහි යාවත්කාලීන කිරීමට පැමිණිය යුතු දිනය, වේලාව, ස්ථානය සහ රැගෙන ආ යුතු ලේඛන ද ඇතුළත් කර ඇත. මෙම පණිවිඩයේ අවසානයේ, මෙම සත්‍යාපනයට සහභාගී නොවන්නේ නම් ජාතික හැඳුනුම්පතට සම්බන්ධ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බවට තර්ජනයක් ද ඇතුළත් කර තිබේ.
නියමිත දිනයට මොහොතකට පෙර මෙම පණිවිඩය ලැබෙන බැවින්, හැඳුනුම්පත අත්හිටුවනු ඇතැයි යන බියෙන් බොහෝ දෙනෙකු එහි ඇති ව්‍යාජ දුරකතන අංකයට ඇමතුම් ලබා ගනියි. පසුව වංචාකරුවන් අයදුම්පතක් පිරවීමේ මුවාවෙන් වින්දිතයන්ගෙන් OTP (One Time Password) ඇතුළු රහස්‍ය මුරපදයන් ලබාගෙන, ඔවුන්ගේ බැංකු ගිණුම් හිස් කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා CERT ආයතනය අවධාරණය කරන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කිසිදු විටෙක WhatsApp හරහා තොරතුරු සත්‍යාපනය කිරීමක් සිදු නොකරන බවයි. එබැවින් මෙවැනි පණිවිඩවල ඇති ව්‍යාජ වෙබ් අඩවි ලිපින (Links) වෙත පිවිසීමෙන් හෝ එහි ඇති දුරකතන අංකවලට ඇමතීමෙන් වළකින ලෙසත්, තමන්ගේ රහස්‍ය බැංකු තොරතුරු හෝ OTP කේත කිසිදු පාර්ශවයකට ලබා නොදීමට බුද්ධිමත් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















