තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනය බලා බස් රථයකින් ගමන් කරන බවට ලද තොරතුරක් මත යාපනය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය පොලිසිය වෙත භාර දීමට නියමිතය.
මෙම සිද්ධියට අදාළ තොරතුරු පසුබිම පහත පරිදි වේ:
තෙල්දෙණිය පොලිසියට ලද දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනයකදී, අගුළු දමා තිබූ මෝටර් රථයක් තුළ තිබී මෙම සිරුර සොයා ගැනිණි. මියගිය කාන්තාව වැලිගම ප්‍රදේශයේ පදිංචි අම්පාර රෝහලට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි භෞතචිකිත්සකවරියකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඇයගේ පෙම්වතා විසින් ඇයගේ සිරුර මෝටර් රථයකින් ප්‍රවාහනය කර එම ස්ථානයේ අතහැර දමා පළා ගොස් ඇති බවයි. මෙම කාන්තාව ජූනි 3 සිට ජූනි 16 දක්වා නුවරඑළියේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර, එම කාලසීමාව තුළ ඇය සිහිසුන්ව සිටියදී පෙම්වතා විසින් ඇයව උසුලාගෙන යන අයුරු දැක්වෙන CCTV දර්ශන ද හමුවී තිබේ.
මුල් අවස්ථාවේදී තෙල්දෙණිය පොලිසියට මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු වාර්තා කර ඇත්තේ ද පෙම්වතා යැයි සැකකෙරෙන පුද්ගලයෙකු විසිනි. කෙසේ වෙතත්, ඉන් අනතුරුව ඔහු අතුරුදන්ව සිටි අතර පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර තිබුණි.
















