මෙපමණ කාලයක් විනිවිදභාවයකින් තොරව ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වර්තමානයේදී ඉහළ විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
සමාජයේ පවතින ආර්ථික අපහසුතා සහ දරිද්‍රතාවයෙන් පෙළෙන 26%ක් වූ ජනතාව වෙනුවෙන් තමන් නිරන්තරයෙන් බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හඬ නගන බව හෙතෙම සඳහන් කළේය. බදු පදනම පුළුල් කිරීමට විරුද්ධ නොවන බවත්, කෙසේ වෙතත් බදු ක්‍රියාවලිය තුළ පවතින අසාධාරණයන් පිළිබඳව මුදල් කාරක සභාව ලෙස රජයේ අවධානය යොමු කරවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
බදු අය කිරීමේ ක්‍රමවේදයන්හි පවතින තාක්ෂණික දෝෂ සහ අසමානතාවන් පිළිබඳව ඔහු මෙසේ කරුණු දැක්වීය.
බදු අයකිරීම්වලදී යොදා ගන්නා වටිනාකම් ගණනය කිරීම්වල පවතින දෝෂයන් සහ ඇතැම් සේවාවන් සඳහා වැට් (VAT) බද්ද අනුචිත ලෙස යෙදීම ගැටලු සහගතය. නිදසුනක් ලෙස ඊ-චැනලින් සේවාවන්හිදී වෛද්‍ය සේවයට බදු අය නොකළ යුතු වුවද, මෘදුකාංග සඳහා බදු අය කිරීමේදී පවතින අපැහැදිලි තත්ත්වයන් නිරාකරණය විය යුතුය.
ඩිජිටල් සේවා ක්ෂේත්‍රයේදී විදේශීය මෘදුකාංග සහ දේශීය මෘදුකාංග අතර පවතින අසමාන බදු ප්‍රතිපත්තිය දේශීය ව්‍යවසායකයින්ට අසාධාරණයක් සිදු කරයි. නිදසුනක් ලෙස, මෙරට ක්‍රියාත්මක ‘පික් මී’ (PickMe) වැනි දේශීය තාක්ෂණික සේවාවන් සඳහා බදු අය කරන නමුත්, විදේශීය මෘදුකාංගයක් වන ‘ඌබර්’ (Uber) සම්බන්ධයෙන් එවැනි බදු පැනවීමක් නොමැති වීම නිසා දේශීය තරඟකාරිත්වයට හානි සිදු වේ.
මුදල් කාරක සභාව වසා දැමීමට හෝ එහි බලතල සීමා කිරීමට ඇතැම් පාර්ශව දරන උත්සාහයන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගැටලුකාරී බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, කාරක සභාවේ කාර්යභාරය හරහා මෙවැනි විෂමතා රජයට පෙන්වා දෙමින් රටට හිතකර ආර්ථික තීරණ ගැනීමට දායක වන බව වැඩිදුරටත් පැවසීය.
















