සමාජ මාධ්‍ය වේදිකා භාවිතය හේතුවෙන් තම මානසික සෞඛ්‍යයට හානි සිදුවූ බව පවසමින් බාලවයස්කරුවෙකු විසින් ගොනු කර තිබූ නඩුවක් සමථයකට පත් කිරීමට ගූගල් (Google) සමාගමට අයත් යූටියුබ් ආයතනය පියවර ගෙන තිබේ.
ෆ්ලොරිඩාවේ පදිංචි 16 හැවිරිදි පිරිමි ළමයෙකු විසින් මෙම නඩුව ගොනු කර තිබුණේ තමා කුඩා කල සිට සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වීමෙන් නින්ද නොයාම, මානසික අවපීඩනය සහ කාංසාව වැනි රෝගී තත්ත්වයන්ට මුහුණ දුන් බව පවසමිනි. මෙම නඩුව සමථයකට පත්කිරීමේ කොන්දේසි රහසිගතව තබා ගැනීමට දෙපාර්ශවයම එකඟ වී ඇත. ගූගල් සමාගම පවසන්නේ දරුවන්ට ගැලපෙන නිෂ්පාදන සහ දෙමාපියන්ගේ පාලන අංග වැඩිදියුණු කිරීම කෙරෙහි තම අවධානය යොමු කර ඇති බවයි.
මෙම නඩුව මෙටා (Instagram), ස්නැප් (Snapchat) සහ බයිට්ඩෑන්ස් (TikTok) යන සමාගම්වලට එරෙහිවද ගොනු කර තිබූ නමුත්, එම සමාගම් තුනට එරෙහිව එළඹෙන ජූලි මාසයේදී නඩු විභාගය පැවැත්වීමට නියමිතය.
සමාජ මාධ්‍ය වේදිකා හිතාමතාම ඇබ්බැහිවන සුළු අයුරින් නිර්මාණය කර ඇති බවත්, දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සමාගම් විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් මෙම නඩු හරහා චෝදනා කෙරේ. දැනට කැලිෆෝනියා ප්‍රාන්ත අධිකරණවල සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහිව ඇබ්බැහිවීම් සම්බන්ධ නඩු 3,300කට වඩා පවතී. මෙයට පෙර මාර්තු මාසයේ අවසන් වූ නඩුවකදී මෙටා සමාගමට ඩොලර් මිලියන 4.2ක් සහ ගූගල් සමාගමට ඩොලර් මිලියන 1.8ක් වන්දි ලෙස ගෙවීමට අධිකරණය නියෝග කළේය.
















